මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් අවසන් මහා තරගයේ ස්ථානය වෙන්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (05) සමත් විය. මෙය ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ අවසන් තරගයකට සුදුසුකම් ලැබූ 5 වන අවස්ථාව වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස් කළේය. මෙය LPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 55කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 108ක් රැස්කළ අතර, මෙය ඔහුගේ මංගල විස්සයි20 ශතකයයි. ඊට අමතරව ఖවාජා නෆේ ලකුණු 54ක් (පන්දු 32) සහ තව්හිද් රිදෝයි නොදැවී ලකුණු 54ක් (පන්දු 21) රැස්කරමින් ඉනිම සවිමත් කළහ.
ලකුණු 243ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 228ක් පමණි. පන්දු යැවීමේදී ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් ලකුණු 32කට කඩුලු 3ක් සහ ලිසාඩ් විලියම්ස් කඩුලු 2ක් දවාගත්හ.
